වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.


මේ දුකින් එතෙරවීම ඇත්තේ ඔබ අතේමය


භාවනාවෙන් පසු මෙම හේතුපාඨය කියවා ප්‍රාර්ථනා කරන්න

භාවනාවේ දී පහල වූ
චිත්ත චෛතිසික භූත රෑප උපාදානීය යන මේ
නාම රෑප ධර්මයෝ ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයයෝය.
ඇතිවීම් නැතිවීම් දෙකින් නිරන්තරයෙන් පීඩා වින්ද බැවින් දුක්ඛයෝය 
තම තමන් කැමති ලෙස නොපැවැති බැවින් අනාත්මයෝය. 
අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ නාම රෑප ධර්ම සමූහය 
ඒකාන්තයෙන් දුක්ඛ සත්‍යය නම් වන්නේය. 
ඒ දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්භව තුෂ්නාව ඒකාන්තයෙන් සමුදය සත්‍යය නම් වන්නේය. 
ඒ ලෙස එය නොපැවැත්ම නම් වූ
සාන්ත නිර්වාන ධාතුව ඒකාන්තයෙන් නිරෝධ සත්‍යය නම් වන්නේ ය.
ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධවීම පිණිස 
වැඩිය යුතු වූ ආර්ය අශ්ඨාංගික මාර්ගය ඒකාන්තයෙන් මාර්ග සත්‍යය නම් වන්නේය. 
මාගේ භාවනාමය කුසලය 
මෙම චතුරාර්ය සත්‍යය ධර්මය සුවසේ අවබෝධවීම පිණිසම
හේතු වේවා! වාසනා වේවා!

සාදු! සාදු! සාදු!


පසු කෘත්‍ය MP3



කිසිවිට අධෛරමත් නොවී ධෛරමත් විය යුතු...... මෙ කල භාවනා කිරීමෙන් රහත් නො විය හැකි ය යි කීම තථාගතයන් වහන්සේ ගේ ධර්මය කලකට අවලංගු කිරීම් වශයෙන් ධර්මයට පහර දීමකි. මෙකල රහත් නො විය හැකි ය යි සිතා රහත් වීම ගැන බලාපොරොත්තුව හැර භාවනාවෙහි නො යෙදී නො විසිය යුතු ය. භාවනාව සෑහෙන කලක් ක්‍රමානුකූලව මග ඵල ලැබෙන සැටියට කරගෙන ගිය හොත් හේතු සම්පත් ඇතිවේ නම්, ඔබ මේ ජාතියේ දී රහත් බවට පැමිණෙන්නෙහි ය, මේ ජාතියේ රහත් බවට නො පැමිණිය හැකි වුවත් ඔබගේ උත්සාහය නිෂ්ඵල නො වන්නේ ය. ඒ උත්සාහය ඔබට දෙවන ජාතියේ රහත් වීමේ පාරමිතාව වන්නේය. දෙවන ජාතියේ දී කරන උත්සාහයෙන් ද, ඔබ රහත් නුවුව හොත් ඔබගේ ඒ දෙජාතියේදී ම කළ උත්සාහය තුන් වන ජාතියේ දී රහත් වීමට පාරමිතාව වන්නේ ය. ජාති ගණනක පිරෑ  පාරමිතාවක් නැතිවූවන්ට ද රහත් නොවිය හැකි ය. එබැවින් මතු බුදු සසුනක දී වුවත් රහත් වී නිවන් දැකිය හැකි වීමට ප්‍රඥා පාරමිතාව පිරීම් වශයෙන් මේ බුධොත්පාද කාලයේ දී භාවනාවෙහි යෙදිය යුතුය.

ආරණ්‍ය සේනාසන 2 කොටස

Share this page

පුරාණ ලංකාවේ වනවාසී ආරාම

ක්‍රිස්‌තු පූර්ව තෙවැනි සියවසේ දී මෙරට සංඝ සාසනය ස්‌ථාපිත වී බෞද්ධ ආරාම ඉදිවෙන සාමාරම්භක අවස්‌ථාවේ නම් වශයෙන් වෙන් වෙන් ව නොතිබුණ ද පැහැදිලි ව ම ආරඤ්ඤික හා ග්‍රාමවාසී නමින් භික්‌ෂු කණ්‌ඩායම් දෙකක්‌ දක්‌නට ලැබේ. නිදසුනක්‌ වශයෙන් එකල අගනුවර වූ අනුරාධපුර ඇතුළු නුවරට ඉතා සමීපව එකල තිස්‌සාරාමය නමින් හැඳින් වූ මහාවිහාරයත්, එසේම ථූපාරාමයත්, පසෙකින් සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ භික්‌ෂුණීන් සඳහා වූ හත්ථාල්හක මෙහෙණවරත් දක්‌නට ලැබුණ අතර මෙකී නාගරික ප්‍රදේශයෙන් බැහැරව අම්බස්‌ථලෙහි පර්වත හා ලෙන් ඇසුරු කරමින් අටසැට ලෙන් විහාරය ද වෙස්‌සගිරය හා ඉසුරුමුණිය ආදී විහාර ද ජනාවාස ප්‍රදේශයෙන් ඈත් ව ආරඤ්ඤික භික්‌ෂූන්ගේ වාසස්‌ථාන බවට පත් වීය. මහ ජනතාව අතර ධර්ම ප්‍රචාරක කටයුතු වලදී ග්‍රාමවාසී විහාර වැදගත් වූ අතර භික්‌ෂුන්ගේ බණ භාවනා සඳහා ආරඤ්ඤික භික්‌ෂු ආවාස අවශ්‍ය විය. පසු කාලය වන විට මෙම ආරණ්‍ය වාසී භික්‌ෂුන් වහන්සේලා විශුද්ධි මාර්ගයේ සඳහන් වන යම් යම් ධූතාංග රකින පිරිස්‌ වශයෙන් ප්‍රසිද්ධියට පත්විය. මේ අතරින් පාංසුකූලික යන්න බෙහෙවින් ජනප්‍රසාදය දිනාගත් ධූතාංගයක්‌ විය. පසු කාලය වන විට මෙකී ධූතාංග රැකීමේ යම් ලිහිල් බවක්‌ දකින්ට ඇතත් සමාරම්භක අවස්‌ථාවේ එකී ධූතාංග රැකීමේ දැඩි පිළිවෙතක්‌ පැවතී ඇත. ඒ බව සානාථ වන්නේ අභයගිරි වාසීන්ගේ ග්‍රන්ථයක්‌ වන විමුත්ති මග්ගයේ පාංසඅකූලිකයන් විසින් පූජාවක්‌ ලෙස චීවරයක්‌ පිළිගැනීම හෝ ආරඤ්ඤිකයින් ගමකට නුදුරින් වාසය කිරීම විනය නීති කඩකිරීමක්‌ වශයෙන් සඳහන් ව තිබීමෙනි. එහෙත් ක්‍රිස්‌තු වර්ෂ පස්‌වන සියවස වන විට මේ තත්ත්වය වෙනස්‌ ව ගොස්‌ ඇති සැටි පෙන්වන අටුවාචාරී බුද්ධඝෝෂ හිමි සොහොන් බිමෙහි දමා තිබූ කඩමාලක්‌ ඇහිඳ පාවිච්චියට ගන්නා දැඩි පිලිවෙත් රකින පිරිස, භික්‌ෂුන් විසින් ඇහිඳ ගත යුතු යෑයි සඳහන් කර තැබූ කඩමාල්ලක්‌ ඇහිඳ පාවිච්චියට ගන්නා මධ්‍යස්‌ථ පිළිවෙත් රකින පිරිස, හා තමාගේ පා මුල තබන කඩමාල්ලක්‌ පිළිගනනා මෘදු පිළිවෙත් රකින පිරිස යනුවෙන් පාංසුකූලිකයන් වර්ග තුනකට බෙදා දක්‌වා ඇත. මේ ආකාරයෙන් ආඤ්ඤිකයන් ද භාවනා කරන අවස්‌ථාවේ දී පමණක්‌ ඒ සඳහා වනයට පිවිසෙන පිරිසක්‌ ද සිටි බව සඳහන් කර තිබේ.

එහෙත් අනුරාධපුර යුගයේ අවසානය දක්‌වා ම ක්‍රියාත්මක වූ හා නගරයෙන් හා ගමින් දුරස්‌ථ ප්‍රදේශයක පිහිටියා වූ වනවාසී ආරාමවල නටබුන් රැසක්‌ ද මේ වන විට පුරාවිද්‍යාඥයන් විසින් අනාවරණය කොට ගෙන ඇත. නිදසුනක්‌ වශයෙන් අනුරාධපුරයේ බටහිරාරාම, වෙහෙරබැඳිගල හෙවත් කිරළාගල, රිටිගල, මරදන්කඩවලට නුදුරු මනාකන්ද, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ අරන්කැලේ වැනි පැරැණි වනවාසී විහාර දැක්‌විය හැකිය. පසුකාලය වන විට භික්‌ෂූන් අතර ප්‍රතිපත්ති රැකීම වැදගත්ද නැත්නම් පරයාප්තිය රැකීම වැදගත්දැයි අදහස්‌ ඉදිරිපත් ව පර්යාපත්තිය රකින පිරිස බලවත් වී ඇත. ඒ අනුව ග්‍රන්ථධුර හා විදර්ශනාධුර යනුවෙන් භික්‌ෂුන් කොටස්‌ දෙකකට බෙදුණි. ග්‍රන්ථධුරය රකින පිරිස්‌ ධර්ම ග්‍රන්ථ පිටපත් කරමින් ලියමින් දේශනා පවත්වමින් ඒවා ආරක්‌ෂා කිරීමේ කාර්යයෙහි නියෑලුණු අතර විදර්ශනාධුර රකින පිරිස ප්‍රතිපත්ති රකිමින් භාවනාදියෙහි යෙදුණහ. එසේ විදර්ශනාධුරය රැකි භික්‌ෂූන් අනුරාධපුර යුගයේ වැඩි වශයෙන් හැඳින්වූයේ පියංගල් විහාර වාසීන් ලෙසය. ශිලා ලිපිවල මෙම විහාර පතනගල, හෝ පදනගල යනුවෙන් ද සඳහන් වන අතර පාලි බසින් පධානඝර නම් විය. ආරම්භයෙහි මෙම පයංගල් විහාරවාසී ආරඤ්ඤික භික්‌ෂූන් පිළිබඳ ව ජනතාව තුළ ඇති වී තිබූ ගෞරවය හා පිළිගැනීම නිසාදො පසුකාලය වන විට නගර හා ගම් අශ්‍රිත ව පිහිටි මහාවිහාර සම්ප්‍රදායේ විහාර තුළ ද පියංගල් විහාරවල දක්‌නට ලැබෙන භාවනා කිරීමට යොදාගත් පධානඝර තිබීම දක්‌නට ලැබේ. මේ වන විටත් එවැනි පධානඝරයන්හි නටබුන් අනුරාධපුර මහා විහාරය මෙන් ම අභයගිරියෙන් ද ඉසුරුමුණියෙන් ස ඉතා මෑතක දී සොයාගෙන ඇත. ආරණ්‍යවාසි පියංගල් විහාරවල වැඩවිසූ භික්‌ෂුන්ගේ පිළිවෙත් පිළිබඳ ජනතාව තුළ වූ ආකර්ෂණීය භාවය නිසා ම එකී ආරාම වලට ලැබුණ මහත් වූ අනුග්‍රහයන් නිසා දොa පසුකාලය වන විට ආරම්භයේ දී රැක්‌ක දැඩි ප්‍රතිපත්ති වෙනුවට ලිහිල් මෘදු ප්‍රතිපත්ති රැකීමට පෙළඹී ඇත. නිදසුන් වශයෙන් පස්‌වැනි අග්බෝ රජු මෙම විහාරවලට වටිනා වස්‌ත්‍ර පිළිගැන්වීමත් හත්වැනි අග්බෝ විසින් ඔවුනට රාජකීයයන්ට ගැලපෙන අහාර සැපයීමට කටයුතු සැලැස්‌වීමත්, එම ආරාමවලට දැසි දැස්‌සන් කම්කරුවන් මෙන් ම ආදායම් මාර්ග සැපයීමත් වංසකතාවේ සඳහන් ව තිබීම දැක්‌විය හැකිය. එපමණක්‌ නොව මෙම භික්‌ෂූන්ගේ සිල්වත් බව හා ප්‍රතිපත්ති ගරුක කම පිsළිබඳ ව ජනතාව කෙතරම් උනනන්දුවක්‌ දැවූයේද යත් එකී භික්‌ෂූන්ගේ ඥතීන්ට පවා ගරුකරමින් තෑගි බෝග දී ඇත. උදාහරණ වශයෙන් සේන ඉලංග විසින් ඔවුනට රෙදි සහ සහල් බෙදාදීමක්‌ මහාවංසයේ සඳහන් වීම දැක්‌විය හැකිය. එසේ ම මෙම භික්‌ෂුන්ට හතරවැනි උයද රජු විසින් මහත් වියදම් දරා මිල දී ගත් පිරිකර හා වෙනත් භාණ්‌ඩ බෙදා දීමත් හතරවන මහින්ද රජු විසින් ඔවුනට නිතිපතා පාත්‍ර පුරවා සුදුලූණු, ගම්මිරිස්‌, තිප්පිල, ඉඟුරු, හකුරු, අරළු, බුලු, නෙල්ලි, ගිතෙල්, මී පැණි ආදි ද්‍රව්‍ය බෙහෙත් පිණිසත් පෙරවන ඇතිරිලි, බුමුණුතුරු, සිවුරු හා සැප පහසුව පිණිස වෙනත් බොහෝ ද්‍රව්‍ය ද පූජා කිරීම මහාවංසයේ සඳහන් කර තිබේ. විර්ශනා ධූරය දැරූ මෙකී භික්‌ෂූන් වැඩවාසය කළ පියංගල් ආරාම පිළිගත් එක ම සම්ප්‍රදායකට අනුව නිර්මාණය කර ඇත. එම නිර්මාණ සැළැස්‌ම ඉන්දියාවේ හෝ වෙනත් රටක දක්‌නට නොලැබෙන්නකි. එහෙයින් එය මෙරටට ආවේණික ආගමික ගොඩනැගිලි විශේෂයක්‌ සේ සැළකිය හැකිය. එම නිර්මාණයන් කිරීමේ දී මෙම භික්‌ෂූන්ගේ අරමුණු හා පිළිවෙත් ඒ කෙරෙහි බලපා ඇත. උදාහරණයක්‌ වශයෙන් උන් වහන්සේලාගේ අරමුණ වූයේ ලෞකික සැප විදීමෙන් බැහැර ව විමුක්‌තිය පැතීම නිසා මෙකී විහාර තුළ ග්‍රාමවාසී විහාරවල මෙන්ම සිත් පිනවන කැටයම් මෝස්‌තර සහිත මුරගල් හෝ සඳකඩපහණ හෝ එවැනි දේ දක්‌නට නොලැබේ. බටහිරාරාම පියංගල් වල කැසිකිළි ගල් පුවරු වල පමණක්‌ කැටයම් මෝස්‌තර යොදා ඇත්තේ මෙකී භික්‌ෂූන් විසින් ඒවා ප්‍රතික්‍ෂේප කරණ බව දැක්‌වීමට උන්වහන්සේලාගේ අදහස්‌ අනුව දායකයින් විසින් ඒවා ඉදිකරන්නට ඇති නිසාය. 

ලංකාව පුරා විසිරී ඇති පැරැණි පයංගල් විහාර නටබුන් පිරික්‌සීමේ දි පැහැදිලි වනනේ සැම කල්හිම සැම තැන ම ඒවා එක ම සැලැස්‌මකට අනුව නිමවා තිබුන බවය. මිදුල් මට්‌ටමින් මීටරයක්‌ පමණ උස්‌ පීඨයක එකකට එකක්‌ ඉදිරියෙන් සිටින සේ නිමවූ ගොඩනැගිලි දෙකකින් සමන්විතය. එක්‌ ගොඩනැගිල්ලකින් අනික්‌ ගොඩනැගිල්ලට යැම සඳහා ගොඩනැගිලි දෙක සම්බන්ධ කෙරෙන තනි ගල් පුවරුවකින් යුක්‌ත පාලමක්‌ සවිකර ඇත. මෙයින් පසුපසින් ඇති ගොඩනැඟිල්ල භාවනාණුයෝගී භික්‌ෂූන් වැඩසිටි කුටිය වේ. ඒ බව තහවුරු වන්නේ එම ගොඩනැඟිලේ වහළ දරා තිබූ ගල් කණු ඉතිරිව තිබීමත් ගරාවැටුණු වහළටය අයත් උලු තැන්පත්ව තිබීමත් සමහර තැන්වල දී බිත්තිවල ගරාවැටුණු ගඩොල සොයාගෙන තිබීමත් නිසාය. එසේ ම වෙහෙරබැඳිගල ප්‍රධානඝරවල මෙම ගොඩනැඟිලි තුළ කුටි කිහිපයක්‌ තිබූ බවට සාදක වශයෙන් එක්‌ එක්‌ කුටිය වෙන් කෙරුණු බිත්තිවල අත්තිවාරම් හමු වී ඇත. එක්‌ එක්‌ කුටියක්‌ එක්‌ භික්‌ෂුවකට පමණක්‌ ජීවත්විය හැකි පරිදි කුඩා ප්‍රමාණයෙන් යුක්‌ත වී ඇත. එහෙත් එහි ඉදිරියෙන් ඇති ගොඩනැගිල්ලෙහි එකී ලක්‍ෂණ කිසිවක්‌ දක්‌නට නොලැබෙන හෙයින් එය පොදු කටයුතු සඳහා භාවිත විවෘත මණ්‌ඩලයක්‌ වශයෙන් පැවැති බව සැළකේ. මෙම පියංගල් විහාරවල භික්‌ෂුන්ගේ අවශ්‍යතා සපුරාලීමට පැමිණෙන කැපකරු දායකයන් හමුවන ස්‌ථානය වශයෙන්ද, විහාරයේ වැඩ වාසය කරන නවක භික්‌ෂූන් උපාධ්‍යයන් වහන්සේ හමුවීමට යොදාගන්නා ස්‌ථානය වශයෙන්ද මෙය යොදගන්නට ඇත. භාවනාවේ යෙදෙන නවක භික්‌ෂුන් වහන්සේලාට ඒ සඳහා උපාධායන් වහන්සේගෙන් කමටහන් ලබාගත යුතුය. අනතුරුව වනයේ රුක්‌මුලක්‌ ආදි ස්‌ථානයක සිය භාවනා කරන අතර ගැටලු මතුවිය හැකිය. එකී ගැටලු විස¹ ගැනීම සඳහා නැවත උපාධ්‍යායන් වහන්සේ හමුවිය යුතුය. මෙම ගොඩනැඟිල්ල එසේ කුටිය තුළ වෙසෙන භික්‌ෂූන් හමුවීමට යොදාගත් ස්‌ථානයක්‌ බව සනාථ කෙරෙන තවත් සාධකයක්‌ ඇත. එනම් පාලමක්‌ වැනි ගල්පුවරුව දෙපසින් පහත මිදුලට බැසීම සඳහා දෙපසින් පියගැට පෙළ දෙකක්‌ ඉදිකර තිබීමය. කුටිය තුළ සිටි භික්‌ෂූන් වහන්සේ ඉන් පිටතට පැමිණ ගල් පුවරුව මත වාඩි වී සාකච්ඡා කළ පසු පැමිණි පිරිස ඉදිරි දොරින් ම පිටව යන්නේ නම් අනිවාර්යයෙන් ම භික්‌ෂූන්ට පිටුපා යා යුතුය. එය අගෞරවයක්‌ සේ පුරාණයේ සළකා ඇති බව පැහැදිලි වන්නේ අනුරාධපුර යුගයේ ගන්ධකුටි සම්ප්‍රදායේ බුදු පිළිම ගෙවල්වල ද බුදුපිළිමයට වැඳ ප්‍රදක්‌ෂිණා කිරීමෙන් අනතුරු ව ඉදිරි දොරින් පිටවී යාමේ දි බුදුන් වහන්සේ පිටුපස හැරවීමට සිදුවන හෙයින් එකී අගෞරවයෙන් වැළකීම සඳහා අන්තරාලයේ දකුණු පැත්තේ බිත්තියේ කුඩා දොරටුවක්‌ ඉදිකර තිබීමය. අදහස්‌ වශයෙන් මේ දෙක ම සමානය. මෙම මණ්‌ඩපය විශුද්ධි මාර්ගයේ සඳහන් කසින වලින් එකක්‌ පුහුණු කිරීමට යොදාගනනට ඇතැයි අචාර්ය රෝලන්ඩ් සිල්වා මහතා පවසා ඇත. තේජෝ හෙවත් ගින්න අරමුණු කරගෙන කරණු ලබන එම භාවනාවේ දී ගිනි මැලයක්‌ දල්වා ඒ ඉදිරිපිට වියතක පමණ සිදුරක්‌ කළ හම්කඩක්‌ හෝ ආවරණයක්‌ එල්ලා සිදුරු තුළින් ගින් දෙස නෙත් යොමා මෙම භාවනාව සිදු කෙරේ. මෙම මණ්‌ඩපය තුළ එය සිදු කෙරුණේ දැයි දැක්‌වීමට ස්‌ථිර සාක්‌ෂි නැත. රිටිගල, මානාකන්ද, බටහිරාරාම වැනි ස්‌ථානවල පිහිටීම සළකා බැලීමේ දී භික්‌ෂූන්ට භාවනාව සඳහා සිත එකඟ කර ගැනීමට පහසු නිසංසල පරිසරයන් ඒ සඳහා තෝරාගෙන ඇති බව පෙනේ. උදාහරණයක්‌ වශයෙන් බටහිරාරමය පිහිටා ඇත්තේ පුරාණ සොහොන් බිමට එපිටින් වීම දැක්‌විය හැකිය. මෙරට ඉතිහාසයේ රාජධානි වෙනස්‌ වුව ද වනවාසී ආරාම භික්‌ෂු සම්ප්‍රදාය වෙනස්‌ වී නොමැති බවට සාක්‍ෂි හමුවේ. දඹදෙණි සමයේ ධර්මකීර්ති මහ තෙරුන් වැඩ විසූ පලාබත්ගල අරණ්‍යසෙනසුනකි. මහපැරකුම්භා රජුගේ සංඝ සංශෝධනයට ප්‍රධානත්වය දුන් දිඹුලාගල කාශ්‍යප හිමි වනවාසී නිකායට අයත් ය. ශ්‍රී ජයවර්ධන කෝට්‌ටේ සමයේ වත්තල වනවාසයක්‌ වූ බව සංදේශ සාහිත්‍යයේ දැක්‌වේ. මහනුවර අස්‌ගිරි විහාරයේ ආරම්භය ද වනවාසී පාර්ශ්වය හා සම්බන්ධය. වලස්‌ගල වනවාසී භික්‌ෂු පරපුරෙන් පැමිණි භික්‌ෂූන් විසින් එය ආරම්භ කොට ඇත. වලස්‌ගල යන්න පාලි බසට පෙරදීමේ දී අච්ජගිරි යනුවෙන් සඳහන් කිරීමත් පසුව ශබ්දාර්ථයට මුල් තැන දෙමින් හෙළ බසට පෙරළීමේ දී අස්‌ගිරි වූ බවත් පෙනේ. 

අනුෂි තිසාරා කාරියවසම්
2010 නොවැම්බර් 21 ඉරිදා දිවයින