වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානය


දෙපණස් වසරක් තිස්සේ සදහම් සිහිල බෙදන සෙනසුනක්

පසෙකින් නිල් අහස් ඉම තෙක් දිවෙන පුළුල් කෙත් යාය ය. අනෙක් පස පොළෝ තලය ගන අවුරැසින් අවුරන නෙරළු තුරු වදුල ය. රත් ව ගිය දුහුවිලි මුසු වියළි සුළං රැල් මුහුණ තවමින් ඇදී යද්දී මඟ දෙපසින් පසු වන තුරු නිල්ලෙන් නෙත් මඳක් සැනසෙයි.
කොට්ටාවේ සිට පිළියන්දල දෙසට දිවෙන 342 බස් මාර්ගයේ සේයාරූ ශිල්පී අනුෂ්කත් මාත් නංවාගෙන කිලෝමීටර පහක් පමණ දුරක් පැමිණි යතුරු පැදිය පොල්ගස්ඕවිට මංසන්ධියට කිලෝමීටරයක් පමණ මෙපිටින් ‘දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානය’ යනුවෙන් දිස් වූ නාම පුවරුව අසලින් දකුණතට හැරවිණ.

සිත් සනසන කෙම් බිම් සොයා කොළොම්පුර වැසියන් නිබඳ ව බොහෝ දුරු කතරට ඇදෙද්දී, රටේ ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශවල බැතිමතුන් පවා තමා වෙත කැඳවන, අගනුවරට නුදුරු පින් බිමකට අපි දැන් සේන්දු වී සිටිමු.
පසුගිය මාසයේ බළන්ගොඩ සීලෝගමටත්, ඉනුත් මාස කීපයකට පෙරාතුව අම්බලන්ගොඩ ගල්දූවටත් අප ගිය සැටි ඔබට මතක ය. මෙවර ඔබ කැටුව පැමිණි මේ දික්හේන භාවනා මධ්‍යස්ථානය ද අයත් වනුයේ එකී තැන් අයත් ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවට ම ය.
රට පුරා මහත් පුබුදුවක් පතුරමින් 2500 ශ්‍රී බුද්ධ ජයන්තියට සැරසෙන සමයේ වඩාත් සිල් පිරිසිදු භාවනානුයෝගී සඟ පරපුරක් තහවුරු කරලීමේ පරම පිවිතුරු අරමුණින්, මාතර ශ්‍රී ඥානාරාම නාහිමියන්ගේ ගෞරවනීය අනුග්‍රාහකත්වයෙන් පරම පූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංස මහතෙරුන් විසින් ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවනු ලදුයේ 1951දී ය. ප්‍රදේශයේ ධර්මකාමී දායකයන් කිහිපපළකගේ ම ඉමහත් පරිශ්‍රමයක ප්‍රතිඵලයක් හැටියට 1955දී පිහිටුවුණු මේ සල්පිටි කෝරළයේ විපස්සනා භාවනා මධ්‍යස්ථානය ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවට පූජා කැරනුයේ වර්ෂ 1997දී ය.
සිරිලක පුරා විසිර පැතිර පවත්නා සිය ගණනක් වූ ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථා භාවනා මධ්‍යස්ථාන අතර ගිහි උපාසක–උපාසිකා දෙපාර්ශ්වයට ම පුළුල් සේ ඉඩකඩ වෙන් කැරුණු භාවනා මධ්‍යස්ථානයක් හැටියට මේ දික්හේන පරිශ්‍රය අපට හඳුනාගත හැකි ය. මෙනයින් සංඝයා වහන්සේ 22 නමකටත් උපාසක භවතුන් 20කටත් පමණ ද සිල්මෑණීන් හා උපාසිකාවන් 40කට පමණ ද මෙහි කුටි – විහරණ පහසුකම් ඇත. බෙහෙවින් සංවිධිත ‘විපස්සනා භාවනා මධ්‍යස්ථාන භාරය’ මේ සියලු කටයුතු සැලකිල්ලෙන් සොයා බලා ප්‍රශස්ත උපස්ථාන සේවාවක් ද සපයන බව පෙනෙන්නට තිබේ. පාලාගම ජී. ඒ. ඇස්. වීරසිංහ පොඩි මහත්මයා, හෙරලියාවල ඊ. ඩී. ඩී. ජයවර්ධන වෙද මහතා, ඩී. ඩී. අබේසිංහ මහතා සහ පොල්ගස්ඕවිට ඩී. ඇස්. ඩී. අත්තනායක වෙදමහතා යන භාවනා රිසි සැදැහැවත් උපාසකවරුන්ගේ මූලික සාකච්ඡා අනුව, කුඩමාදුවේ පදිංචි ව සිටි දොන් සුවාරිස් අබේසිංහ මහතාට අයත් ව තිබුණු ‘දික්හේන’ නමැති අක්කර 3කට වැඩි වපසරියකින් යුත් පොල්වත්ත, ඔහුගේ බිරිය වන අයි. ජේන්නෝනා මාතාවගේ ආශීර්වාදයෙන් අබේසිංහ පුත්වරුන් විසින් මේ පුණ්‍ය කටයුත්තට යෙදැවිණ.

තලගල භාවනා මධ්‍යස්ථානයේ කම්මට්ඨානාචාර්ය ධුරයක් ඉසිලූ පූජ්‍ය තුම්බෝවිල මේධානන්ද හිමියෝ ප්‍රාරම්භක ප්‍රධානත්වය හෙබවූහ. ඉනික්බිති පූජ්‍ය කොට්ටාවේ සුමන හිමි ඇතුළු සිල්වත් යතිවරු රැසක් භාරකාර මණ්ඩලයේ අනුග්‍රහය ඇති ව මෙහි ශාසනික කටයුතුවලට මාර්ගෝපදේශකත්වය සැපයූ බැව් අපට දැනගන්නට ලැබේ. එදා මෙදා තුර විවිධ දුෂ්කරතා මැද නොකඩවා මෙහි දීප්තිය රඳවාගන්නට උර දුන් දායක-කාරකාදීහු ද රැසකි.
උදාසන 4.00ට ගෙඩිය ගැසීමෙන් ඇරැඹී රෑ යම තෙක් විදහෙන දෛනික නේවාසික යෝගාවචරයන්ගේ කාලසටහන පෙර තැන්හි පරිදි ම ය. මධ්‍යස්ථානාධිපති පූජ්‍යපාද මීතලාවේ විනීත නාහිමියන්ගේ අනුශාසනා හා කම්මට්ඨානාචාර්ය පූජ්‍ය දාස්වත්තේ සුමනසීල හිමිපාණන්ගේ මඟපෙන්වීම පරිදි යෝගාවචරයෝ මේ කටයුතුවල නිරත වෙති.
තව ද, මාසික ව පැවැත්වෙන දින 14ක භාවනා වැඩසටහනකි. මේ සඳහා සාමාන්‍යයෙන් 100–150ක පමණ පිරිසක් සහභාගී වන බව පූජ්‍ය මීතලාවේ නාහිමියෝ අප හා පැවසූහ. පොහොය දින විශේෂ භාවනා වැඩසටහනට 500ක පමණ පිරිසක් සහභාගී වෙති.
වෙසක් පොසොන් වැනි මහ පොහෝ දිනයන්හිදී මේ සංඛ්‍යාව දහස ඉක්මවයි. සතියක සෑම සෙනසුරාදාවක ම පැවැත්වෙන අභිධර්ම පුහුණුව, ධර්ම සාකච්ඡා හා භාවනා වැඩ සටහන් සඳහා ද 300ක පමණ පිරිසකගෙන් මේ පින්බිම පිරී යන බව අප හා පැවසුවේ, විසිඅට හැවිරිදි ව සිටියදී භාවනාවට දුන් සිත තවමත් පවත්වන මාකන්දන රංජිත් ධර්මකීර්ති උපාසක මහතා ය.

ධර්ම මාර්ගයට වැටීමේ පුළුල් සමාජීය වැදගත්කම ඒ මහතා තම අත්දැකීම් ඇසුරෙන් අපට පැහැදිලි කළේ මෙලෙසිනි:
“අප දැහැමි ව ජීවිතය ගෙවනවා නම් එබඳු ම දැහැමි සහකරුවකු/ සහකාරියක අපට ලැබෙනවා; මේ වගේ සිල්වත් යුවළකට දා ව උපදින්නේත් සසර පින් කළ පුරුද්ද ඇති දරුවන්. ඔවුන් එන්නේ හිස් අතින් නො වෙයි. එනිසා සැබෑ සිල්වත් යුවළක් කොපමණ ධනයෙන් දිළිඳු වුවත් ආර්ථික අපහසුකම් ගැන සිතා දරුවන් හදන්න පැකිළිය යුතු නැහැ. පින්වත් දරුවන් ම ධන වාසනා සමඟින් මේ වගේ මවුවරුන්ගේ කුස පිළිසිඳගන්නවා. අනෙක් අතට අපේ දරුවන්ගෙන් අප බලාපොරොත්තු විය යුත්තේ අපට වඩා සිල්වත් මිනිසුන් වීමට යි. ඔවුන් ඔහේ හැදෙන්න අරින්න හොඳ නෑ; නිිරතුරුව දහමට යොමු කළ යුතු යි. මා ගැන කිව හොත්, මම නිසරු මිනිසුන් ඇසින් දැක දැන හැඳින මගේ ම ඕනෑකමට දැහැමි දිවියකට හුරු වුණු කෙනෙක්. ඒ අවබෝධය නිසා මම කොතරම් අවිවේකිව සිටියත් භාවනා කටයුතුවලටත් කොහොමහරි කාලය සොයාගන්නවා. මේ දික්හේන පුදුම පුණ්‍ය භූමියක්. මෙහි වැඩ වෙසෙන ස්වාමීන් වහන්සේලා ඉතා ම සුපේශල ශික්ෂාකාමී පිරිසක්. ධර්මය ජීවමාන ව පවත්නා කාලයක ඉපදීමේ නියම ප්‍රයෝජන ගන්න අප උත්සුක විය යුතුයි.”
සෑම දෙයක් දෙසම ප්‍රශ්නාත්මක ව බලන්නට හුරු වී සිටින බොහෝ අය ‘සිල් ගන්නට පොහොය දින වනතෙක් ම ඉන්න ඕනැ ද?’ වැනි ප්‍රශ්න නඟන බව රංජිත් මහතා පවසයි.
එහෙත් මෙලෙස ප්‍රශ්න කරන වැඩි දෙනකු අන් දිනවල වුව කරන බණ- භාවනාවක් නැත. පොහොය දිනවල සර්පයකු දෂ්ඨ කළ විට විෂ නගිනවා නම්, එදින කරන පුණ්‍ය කටයුත්තක ගුණය බලය නොනගී දැ? යි හෙතෙම විමසයි.
රංජිත් මහතා පැවසූ යුරු ම තම දරුවන් දහමට යොමු කරලීමේ වැදගත්කම හඳුනාගත් පියෙක් ද අපට මුණගැසිණ. ඔහු හොරණ දික්හේනපුර ග්‍රාම නිලධාරී රාජා රණසිංහ මහතා ය. හෙතෙම මෙහි පැමිණ සිටියේ සරසවි සිසුවියක වන තම දියණියන් ද කැටුව ය. සැබැවින් ම දහමට යොමු වීමට වියපත් ව, වෘත්තීය විවේකයක්
ලැබෙන තෙක් කල්මැරීමට අවශ්‍ය නැත. ළමා මනස, තුරුණු මනස බොහෝ විට පිරිසිදු තෙත් පුළුන් කැටියක් මෙනි. කුණු කසට නැති එසිත් දහම මැනැවින් උරා ගනී. දහමෙහි පැහැය පැහැදිලි ව එසිත් රංජනය කරමින් දිස් වෙයි.

නිහඬ ව මේ පින් බිම පුරා ඇවිද යන කල අපට හමු වූ සිල් මෑණිවරු දෙනමකි. පිළියන්දල අරුණ සීල මාතාශ්‍රමයේ කුසලා මෑණියන් හා සිටි අනෙක් මෑණීන්ගේ වතෙහි අපගේ විමසුම් ඇස නැවතුණේ එහි පෙනුණුු විදේශීය හුරුව නිසා ය.
සිංගප්පූරුවේ උපත ලැබ, මැලේසියාවේ විසූ ඇය එංගලන්තයේ බර්මිංහැම් සරසවියේ උපාධිය හිමි කරගත් පාසල් ගුරුවරියක් වූවා ය. ඕ ‘උජාලා’ නම් පැවිදි නාමය ලද්දී, ගිහි ව සිටි කල ‘ජෙරල්ඩීන්’ නම් විය. සිංහලයන්ගේ කරුණාවත්, ආගන්තුක සත්කාරයත් සතුටින් සිහිපත් කරන තුරුණු ‘උජාලා’ මෑණියෝ තමා උපන් රටට වඩා මෙය භාවනාවට සිත් අලවන නිසංසල බිමක් බව පවසති.
ගරුතර මධ්‍යස්ථානාධිපති විනීත නාහිමියන් මෙහි කටයුතු භාරගත් තැන් සිට වසර දාහතරක් ගත වී ගොස් තිබේ. ස්ථානීය වශයෙන් දෙපණස් වසරක අතීතයකට හිමිකම් කියන දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථාන ඉතිහාසයේ වැදගත් කඩඉම් කීපයක් සටහන් වීම මේ කාලය තුළ සිදු විය.
ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක පරම පූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහානාහිමියන්ගේ පාද ස්පර්ශය 1998 වර්ෂයේ දී පළමු වරට මේ බිමට ලැබීම ඉනෙකකි.
මියැන්මාරයේ (බුරුම රටේ) සුපතළ චිත්තලපබ්බත සේනාසනයේ ශාඛාවක් බවට දික්හේන පත් වීම අනෙක් කරුණ යි. වර්ෂ 1993දී රැංගුන් නුවර මහාසී භාවනා මධ්‍යස්ථානයට වැඩම කළ පූජ්‍ය, විනීත නාහිමියෝ සත් මසක් එහි බවුන් වැඩූහ.
ඉන් පසු එරට පුරා භාවනා මධ්‍යස්ථානවල කළ සංචාරයන්ගෙන් අනතුරු ව මෝලමියැං පෙදෙසේ චිත්තලපබ්බත සෙනසුනට ඔවුන්ගේ සිත ඇදිණ. මෙලෙස ඇරඹුණු සබඳතාවෙහි ප්‍රතිඵලයක් හැටියට එහි අධිපති අතිපූජ්‍ය ආචින්න ෂයාඩෝ නාහිමියන්ගේ ගුරූපදේශ අප රටට ද හිමි විය. උන්වහන්සේ ගේ ප්‍රිය ශිෂ්‍යවර අග්ගඤ්ඤ තෙරුන් වහන්සේ 1999දී මේ දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානයට වැඩම කරනුයේ ඒ සබඳතාවේ දිගුවක් ලෙසිනි.
ප්‍රදේශයේ පාසල් සිසු දරුදැරියන් භාවනාව සඳහා යොමු කරලීම හා ඔවුන් ඒ සඳහා දිරිගැන්වීම පූජ්‍ය විනීත නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු වන තවත් කර්තව්‍යයකි. සත් දින නේවාසික භාවනා පුහුණු වැඩසටහනක් වශයෙන් පැවැත්වෙන මෙම කටයුත්තට විනීත ව හා ශික්ෂාකාමී ව සහභාගී වන ශිෂ්‍යශිෂ්‍යාවනට වටිනා සහතිකපතක් ද පිරිනැමෙන බැව් නාහිමියෝ පවසති.
මේ කටයුත්ත සඳහා පාසල් සිසුන් අතර පවත්නා උනන්දුව උන් වහන්සේ පහන් සිතින් අගය කරති.
ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරුතර සභාපති ධුරන්ධර අතිපූජනීය මිනිවන්ගොමුවේ නාගිත නාහිමිපාණන් වහන්සේ දැන් 92 හැවිරිදි ව වැඩ වසනුයේ මේ දික්හේන මධ්‍යස්ථානයේ ය. උන් වහන්සේ බඳු සංඝ නේතෘවරයන් වහන්සේ නමකගේ සමීපාශ්‍රය ලබන්නටත්, උන් වහන්සේට ඇපඋපස්ථාන කරන්නටත් ලැබීම තමන් වහන්සේ ලත් භාග්‍යයක් කොට පූජ්‍යපාද මීතලාවේ විනීත නාහිමියෝ සලකති.
තවදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ මේ මධ්‍යස්ථානයේ කටයුතු සඳහා නිරන්තර අනුශාසනා සපයන ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධානී මහා කම්මට්ඨානාචාර්ය අතිපූජනීය නාඋයනේ අරියධම්ම මහනාහිමිපාණනුත්, ගල්දූවේ ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංස නාහිමිපාණනුත්, කම්මට්ඨානාචාර්ය දාස්වත්තේ සුමනසීල හිමිපාණනුත් ගෞරවයෙන් සිහිපත් කළ යුතු බව යි.
බුද්ධ ශාසනයේ පරිහානි සමය එළැඹ ඇතැ යි කියැවෙනු දසතින් ඇසෙයි. එහෙත් මේ බුද්ධෝත්පාදක සමයේ ධර්මධර, විනයධර මහ තෙරවරුන්ගෙන් අපගේ පුණ්‍යභූමිය තවමත් හිස් ව නැති බව අපි අත්දකිමින් සිටිමු. මේ සත්‍යය පසක් කරගැනීමට ඔබට ද ආරාධනා කරමු. ද
(011 2780140 දූරකථනය මඟින් පොල්ගස්ඕවිට දික්හේන විපස්සනා භාවනා මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකි ය )
ජයත් පියදසුන්