වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

බෝවලවත්තේ ආරණ්‍ය සේනාසනය


දෙස්-විදෙස් සිත් සදන බෝවලවත්තේ ආරණ්‍ය සේනාසනය

හන්තාන කඳුවැටියේ පිහිටි සුන්දර සෙනසුනක් අද ඔබට හමු වේ. දෙස්-විදෙස් ගිහි-පැවිදි යෝගාවචරයෝ මෙහි පැමිණ දහම් රස වලඳිති.
පේරාදෙණිය සරසවි බිමට නුදුරු හන්තාන කඳුවැටියේ එක් පසෙක මහ වනය මැද පිහිටි බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනයට පසුගිය දා අපි ගියෙමු.
පහළ සිට ඉහළට කන්ද නැග ගිය අපට සේනාසන බිම සමීපයේදී කඩුගන්නාව, බලන, අම්බුළුවාව කඳු පෙනිණි. සුවදායක සීතලකට එක් වුණු අපට විවිධ කුරුලු රංචුවල මිහිරි ගී හඬ ද ඇසිණි. සංඝාවාසය හා දාන ශාලාව මෙහි ප්‍රධාන ගොඩනැගිලි විය. භික්ෂූන් වහන්සේ වැඩ-වසන කුටි වනයට වැසී ඈතට නොපෙනී පවතියි.
අප යන විට ඒ ස්ථානය බාර ව සිටියේ පූජ්‍ය මැණික්හින්නේ ධම්මානුසාරී හිමියෝ ය.
උන් වහන්සේ මේ ආරණ්‍ය සේනාසනයේ කතාව අපට මෙසේ ඉදිරිපත් කළහ:
“පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විහාරයේ අධිපතීන් වහන්සේ වශයෙන් වැඩ සිටි අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල හාමුදුරුවන් වහන්සේට වුවමනාවක් තිබුණා දේශීය සහ විදේශීය ගිහි-පැ
විදි අයට නිවී- සැනසිල්ලේ භාවනා කිරීමට සුදුසු ස්ථානයක් ගොඩනැගීමට. උන් වහන්සේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ගොඩනැගුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ටී.බී. පානබොක්කේ මහතා ඒ සංවිධානයේ සභාපති. එබඳු ස්ථානයක අවශ්‍යතාව එතුමාට ද වැටහුණා.

“රාහුල හාමුදුරුවෝ හන්තාන කන්දේ පිහිටි මේ භූමියට වැඩම කළා තවත් කීප දෙනකු සමග. ‘මෙතැන භාවනාවට සුදුසු තැනක්’ උන් වහන්සේ තීරණය කළා. ලෑලිවලින් කුටියක් හැදුවා. පසු ව රාහුල හිමියන් තවත් දෙනමක් සමග එහි වැඩ සිටියා. තවත් කුªටි තුනක් හැදුවා.
“1987 ජූලි 07 වැනි දා අම්පිටියේ ශ්‍රී රාහුල හිමි, මඩිහේ පඤ්ඤාසීහ හිමි සහ පියදස්සි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරණ්‍ය සේනාසනය විවෘත වුණා. උපකුලපතිතුමා ඇතුළු විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය උදව් කළා.
“1990 වන විට විහාරයක් දාන ශාලාවක් භාවනා ශාලාවක් ගොඩනැගීමට හැකි වුණා. ලෑලි කුටි දිරාපත් වූ පසු ස්ථිර කුටි තැනුණා. භාවනාව සඳහා දේශීය, විදේශීය භික්ෂූන් වහන්සේ වැඩම කළා. මහරගම සිරි වජිරඤාාණ ධර්මායතනයේ හිමිවරුන්ට භාවනා අත්දැකීම් ලැබීමට මේ ස්ථානය උදව් වුණා.
“පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ
 හිමි ද, බුරුමයේ පාවුක් සයාඩෝ හිමි ද මෙහි නතර වී භාවනා කළා. මඩිහේ පඤ්ඤාසීහ නා හිමියනුත් විටින් විට මෙහි වැඩම කොට භාවනා කළා.

“කම්මට්ඨානාචාර්ය හිමියන් ලෙස අම්පිටියේ නායක හාමුදුරුවන් මහ මෙහෙවරක යෙදුණා. උන් වහන්සේට පසු ව කටුගස්තොට සනාථවිහාරී හිමි සහ තංගල්ලේ විමලකිත්ති හිමි මේ ස්ථානයේ දියුණුව උදෙසා විශාල වැඩ කොටසක් ඉටු කළා. අද මේ ආරණ්‍ය සේනාසනය මුළු ලොව ම දන්නා ස්ථානයක් බවට පත් වෙලා.”
මේ ආරණ්‍ය සේනාසනය ලොව පුරා කීර්තිමත් වී ඇති සැටි අපට ඒ අවස්ථාවේ ම පෙනිණි. චෙක් දේශය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජර්මනිය සහ ඉන්දියාව යන රටවලින් පැමිණ භාවනාවේ යෙදෙන අය අපි දුටුමු.
පීටර් හොරචැක් 21 හැවිරිදි චෙක් දේශයේ තරුණයෙකි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වූ ඔහු නේපාලයේදී ශ්‍රී ලංකාවේ ථේරවාදි බුදු දහම ගැන අසා මේ සේනාසනයට පැමිණියේ ය. ඔහු දැන් මෙහි භාවනාවේ යෙදෙයි.
ඉන්දීය භික්ෂූන් වහන්සේ නමක් වන විශුද්ධානන්ද බෝධි හිමි වස් සමය ගත කිරීමට මේ ස්ථානයට වැඩියහ. දැන් උන් වහන්සේ මුළු කාලය ම මෙහි භාවනාවට යොදවති.
විදේශිකයන් සඳහා සැකසුණු ධර්ම පුස්තකාලයක් ද මෙහි තිබේ. දින 10, 20 භාවනා වැඩසටහන් ලංකාවේ තරුණයන් සඳහා දැන් පැවැත්වෙන අතර, මාසික භාවනා වැඩසටහනක් ද වෙයි. පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමියෝ ඒ වැඩසටහන මෙහෙයවති. මේ සඳහා වැඩි වශයෙන් සහභාගි වන්නේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෝ ය.
පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද ත්‍රිවිධ ශාසනය නගාසිටුවීම මේ සේනාසනය නිර්මාණය කළ අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මහ නා හිමිපාණන්ගේ ප්‍රාර්ථනය විය. ඒ ප්‍රාර්ථනය යථාර්ථයක් බවට පත් වන සේ මේ සේනාසනයේ සියලු කටයුතු සකස් වී ඇති සැටිත් ක්‍රියාත්මක වන සැටිත් සැමතින් දිස් වේ.
අතිපූජ්‍ය ශ්‍රී රාහුල මහ නා හිමියෝ අටළොස් වසරක් ම මේ සේනාසනයේ වැඩ-වුසූ හ.
මේ ස්ථානයට නුදුරින් උන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මහරගම සිරි වජිරඤාාණ ධර්මායතනයට අනුබද්ධිත ප්‍රීම්රෝස් වජිරාරාමය බිහි විය. එය පිහිටියේ ප්‍රීම්රෝස් නමැති කන්දේ ය. ඒ ස්ථානයේ සාමණේර හිමිවරු තිස් නමක් පුහුණුව ලබති.
මිහින්තලේ කටුපොතකන්දේ වජිරාරාමය ද මේ සේනාසනයට සම්බන්ධ ය.
මෙම සේනාසනයේ සියලු කටයුතු අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ අනුනායක, බම්බලපිටියේ වජිරරාමාධිපති, ශාස්ත්‍රපති, පණ්ඩිත, පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද අනු නා හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු වේ.
මහනුවර සිට මේ ස්ථානයට පැමිණෙන්නේ මුල්ගම්පළ හීරැස්සගල හරහා ය. නැති නම් ගැටඹේ දංගොල්ල හන්දියෙන් හැරී පැමිණිය යුතු ය. මහනුවර සිට කිලෝමීටර් 8කි. ගැටඹේ සිට කිලෝමීටර් 6කි. දූරකථන අංකය: 081- 3809210.




 මෙය පිහිටුවා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ලබා දුන් බිම් ප්‍රදේශයකයි.
මෙම ස්ථානයට එන්නට ප්‍රධාන මාර්ග දෙකක් තියනවා. එකක් මහනුවර පේරාදෙණිය පාරේ හීරැස්සගල හන්දියෙන් හීරැස්සගල පාරේ යන්න පුළුවන්. නැතිනම් ගැටඹේ සිට බෝවලවත්ත පාරේ යන්න පුළුවන්. ඉන්පසු Amaya Hills (කලින් Le Kandiyan) හෝටලය දක්වා ඇති පාරේ ගමන් කරන්න පුළුවන්. එම හෝටලය පසු කර සිමෙන්ති ගල් ඇතිරූ පාරක් තියෙනවා. එහි සමහර තැන් තාර දමා ඇති අතර සමහර තැන් ගුරු පාරක ස්වභාවය ගන්නවා. ඇතැම් ස්ථාන කොන්ක්‍රීට් අතුරා ඇත. එම පාර දිගේ කිලෝමීටරයක් පමණ ගිය විට මෙම ආරණ්‍ය සේනාසනය හමුවේ.
මේ තියෙන්නේ ඇතුළුවන තැන ඇති ගේට්ටුවයි. මෙම ස්ථානයෙන් ඇතුළු වී වම් පැත්තට ඇති කෙටි පඩිපෙල නැගගත් විට දාන ශාලාව හමුවේ. එහි ඉදිරියෙන් විශාල වැලි මළුවක් ඇති අතර පසෙකට වන්නට අළුතින් රොපනය කරන ලද බෝධියක්ද දක්නට ඇත. මළුවේ පිළිවෙලකට ගස් සිටුවා ඇත.
අවට පරිසරය හරිම සිසිල්ය. කුරුල්ලන්ගේ ගී හඬ හැර වෙනත් කිසිම ශබ්දයක් නැත. ඉඳ හිට මුවෙකුගේ නැතිනම් ඌරෙකුගේ ශබ්දයක් ඇසුනත් ඒ ඇසෙන්නේ කලාතුරකිනි. උන් මෙහි වැඩවසන ස්වාමීන් වහන්සේලාට කරදර නොකරනවා විය යුතුය. උදෑසන නිසා තවමත් තුරුපත් මත පිණි කැට ඉතිරිවී ඇත. ගස් අතරින් පෙරී එන ළාහිරු රැසින් ඒවා මිණිකැට මෙන් දිලිසෙයි. 
මේ දාන ශාලාව පිටතින් පේන ආකාරයයි.
මේ දාන ශාලාවේ ඇතුලත ඡායාරූපයක්..
මෙහි ඇතුලත පිරිසිදු බව ඉතාම ඉහලින් පවත්වාගෙන යනු ලැබේ. භික්‍ෂූන් වහන්සේලා උදේ දානයට පෙර පැමිණ වැලි මළුව අමදිති. ඒදෙස බලා සිටි මට මේතරම් ශාන්ත තැම්පත් අයුරකින් මෙසේ අමදින්නේ කෙසේද කියා සිතා ගැනීමටත් අපහසුය. ඉදල වැලි හා ස්පර්ශ වන හඬ මිස වෙනත් කිසිම හඬක් නැත. උන්වහන්සේලා දෙදෙනෙක් කතා කරන බවක් පෙනෙන්නට නැත. එදින දානශාලාවේ සිටි කැපකරු මහතුන් නිවාඩු ලබා නිවෙස් වලට ගොස් ඇති නිසා දානය පිළියෙල කිරීමේදී එහි වැඩ සිටි භික්‍ෂූන් වහන්සේ නමක් කටයුතු කළේය. පන්සිල් සමාදන්වී බුද්ධපූජාව පවත්වා දානය භික්‍ෂූන්ට කැපකළ පසු දන් පිළිගැන්වීමක් සිදු නොවේ. උන්වහන්සේලා පැමිණ තමන් වහන්සේ විසින්ම පාත්‍රයට දන් බෙදාගනී. ඉන්පසු නිහඬව දන් වළඳයි.
එසේ දන්වළඳන වෙලාවේ ලද නිදහසින් මම භාවනා කුටි ඇති වනයේ ඇතුලට ගියෙමි.
මෙහි ඇතුල්වීම තහනම්ය. එහෙත් මම කලින් ස්වාමීන් වහන්සේ නමකට දන්වා තිබූ නිසා ඔබ වෙනුවෙන් විස්තර ටිකක් ගෙන ඒමට ඇතුලට ගියෙමි. ඇතුලත ඇත්තේ ගුරුපාරකි. එහි ඇතැම් ස්ථාන දායකයින් විසින් කොන්ක්‍රිට් අතුරා සකස් කර ඇත. 
පාවහන් නැතිව ඇවිදින නිසා මගේ යටිපතුලේ ගල් ඇනී වේදනාවක් ආවද අවට නිස්කලංක පරිසරය ඒ සියල්ල අමතක කරයි. මෙහි ගසක් යට දවසක් වුවද ඉන්න පුළුවන්. මෙම ප්‍රදේශයේ මිනිසුන් ගැවසෙන්නේ ඉතාම අඩුවෙනි. ඒ නිසා වනාන්තරයට හානි වන්නේ නැති තරම්ය. 
භාවනා කුටි ඇත්තේ පාරෙන් පිටතය. ඒවාට යන්නට පියගැටපෙලක් සකස් කර ඇත. මෙහි භාවනා කුටි ක්‍රම කීපයකට සාදා ඇත. මම ඒවා අසලට නොගියෙමි. එහෙත් ෆොටෝ කීපයක් ගන්න නම් අමතක කළේ නෑ.
මෙය තරමක් විශාල කුටියකි. මෙහි කුටියට අමතරව වැසිකිලියක් හා සක්මන් මළුවක් ඇත. වනාන්තරයේ සතුන් ගැවසෙන නිසා රාත්‍රියේ එළමහනේ සක්මන් කිරීම භයානකය. ඒ නිසා ඇතුලත ආරක්‍ෂාකාරි ලෙස සක්මන් මළුවක් සාදා දෙන්නට දායකයින් සිතුවා වන්නට පුළුවන. මෙහි පහලින් ඇත්තේ ඉතා කුඩා කුටියකි. එහි කුටියක් හා වැසිකිලියක් පමණක් ඇත. 
මේ එහි තවත් පැත්තක ඡායා රූපයක්..
මේ තියෙන්නේ භාවනා කුටියට යන්න තියෙන පියගැටපෙළ.
මෙය පවත්වාගෙන යන්නේ මහනුවර බෞද්ධ සංගමයක් මගිනි. ඔවුන් මෙහි භාවනා කුටි සකස් කර දීම, ඒවාට විදුලිය ලබා දීම වැනි පහසුකම් සපයා ඇති. මෙයට උල්පත් මගින් ඉතා පිරිසිදු සිසිල් ජලට ලැබේ. ජල නල පද්ධතියක් සවිකර ආරණ්‍ය භූමිය පුරා එය බෙදා හැරේ. මෙහි වැඩ වාසය කරන භික්‍ෂූන් වහන්සේලා දායකයින් හමුවන්නේ ඉතා අඩුවෙනි. ඒ සඳහා දහවල් 12 සිට 2 දක්වා කාලය වෙන්කර ඇත. අනෙක් සෑම අවස්ථාවක්ම භාවනා කිරීම සඳහා වෙන් කර ඇත. 
මා මෙම ස්ථානයට අවස්ථා ගණනාවක ගොස් ඇත. මෙහි මාසයකට වරක් භාවනා වැඩසටහනක් පැවැත්වේ. ඒ සඳහා කැමති ඕනෑම අයෙකුට සහභාගි වන්නට පුළුවන. 
මෙය විඩාපත් සිතක් නිවන්නට අපූර්ව ස්ථානයක්. මගේ සිතත් සෑහෙන්න නිවා ගන්න පුළුවන් උනා එහි ගත කළ කෙටි කාලය ඇතුලත. දැන්නම් මෙහි දානයක් ලබා ගන්න එකත් අසීරු කාරණාවක් වෙලා. ඒ මම දැක්ක ආකාරයට මේ මාස දෙකම සඳහා උදේ දවල් සියලු දාන වෙන්කරගෙන අවසන් නිසා. එහෙත් භාවනා වැඩසටහනට සහභාගි වෙන්න හෝ නැතිනම් දවල් දානය වෙලාවට ගොස් සිත නිවා ගන්න හරිම අපූරු නිස්කලංක තැනක්. එහෙත් හොඳන්ම මතක තබා ගන්න මෙය භාවනා මධ්‍යස්ථානයක්. එමෙන්ම පූජා භූමියක්. ඒ නිසා එහි යන අයෙක් පූජා භූමියකට ගැලපෙන ආකාරයට යන්න. එහි ගෞරවය ආරක්‍ෂා වෙන අයුරින් කටයුතු කරන්න.