වසර දෙදහස් පන්සියයකටත් එහා ගිය ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය.

අරන්කැලේ ආරාම සංකීර්ණය


වසර දෙදහස්‌ පන්සියයකටත් එහා ගිය ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ලාංකිකයන්ගේ විද්‍යාත්මක ඥනය ලොවටම හෙළිකරන නෂ්ටාවශේෂයන් තවමත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. එසේම මෙම නෂ්ටාවශේෂයන් තුළින් ලාංකිකයන්ගේ අනන්‍යතාවද ප්‍රකට කරවන බව අමතක කළ නොහැකිය. එසේ ඓතිහාසික වශයෙන් වැදගත් ස්‌ථානයක්‌ හිමි කරගනු ලබන ස්‌ථානයක්‌ ලෙසින් අරන්කැලේ ආරාම සංකීර්ණය පෙන්වාදිය හැකිය. මෙම ආරාම සංකීර්ණයෙහි පවතින සුවිශේෂීත්වය විමසා බැලීම උචිතය.


අරන්කැලේ ආරාම සංකීර්ණය පිළිබඳව විමසා බැලීමේ දී කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කුඹුක්‌ගැටේ නම් නගරයට සමීපව අරන්කැලේ නම් වූ ග්‍රාමයෙහි මෙම ආරාම සංකීර්ණය දැකගත හැකිය. ඉතිහාසඥයන් දක්‌වන අන්දමට මෙම ප්‍රදේශය විජයාවතරණයේ සිටම ජනාවාස වී තිබේ. මෙම ආරාම සංකීර්ණය වළගම්බා රජු දවසට අයත් ලෙස සලකනු ලබන අතර භික්‌ෂුන් වහන්සේලාගේ අවශ්‍යතාවන් උදෙසා ඉදිකරන ලද්දකි. අරන්කැලේ ආරාම සංකීර්ණය පිළිබඳව මූලාශ්‍රයන්හි තොරතුරු සඳහන් වනුයේ ඉතාමත් අල්ප ලෙසය. මෙම ආරාම සංකීර්ණයෙහි කර්තෘ කවරෙක්‌ද යන්න අවිනිශ්චිත කරුණකි. එහෙත් පුරාවිද්‍යාඥයන් දක්‌වන අන්දමට ඉතා දිගු ඉතිහාසයක්‌ මේ සඳහා පවතී, ජන ප්‍රවාදයන්වලට අනුව මලියදේව මහ රහතන් වහන්සේ මෙහි වැඩ වාසය කර තිබේ.එසේම අරන්කැලේ ආරාම සංකීර්ණයෙහි ප්‍රභවය පිළිබඳව පවතින තවත් ජනප්‍රවාදයක්‌ මෙසේය. දුටුගැමුණු රජතුමා මෙහි තිබූ ගල්ලෙන දැක එම ස්‌ථානයෙහි විහාරයක්‌ කරවන ලෙස පවසා තිබේ. එහෙත් එම කාර්ය කිරීමට දුටුගැමුණු රජතුමාට නොහැකි වී තිබේ. එහිදී සද්ධාතිස්‌ස රජතුමා ගල්ලෙන සහ එයට අමතරව කුටි, පොකුණු යනාදිය ඉදිකර මලියදේව රහතන් වහන්සේට පූජා කරන ලද බව සඳහන්ය. එකල මෙම ආරාම සංකීර්ණය "අරම් වෙහෙර" යනුවෙන් ව්‍යවහාර කරන ලදී.අරන්කැලේ ආරාම සංකීර්ණය සම්බන්ධයෙන් පවතින ජනප්‍රවාදයන් අතර වළගම්බා රජු දවස මෙම ස්‌ථානය තිස්‌ස මහාපාය නමින් ප්‍රකට වූ බව සඳහන්ය. මෙම රජුගේ සමයේ දී මහාතිස්‌ස නම් වූ හිමි මෙහි වැඩ වාසය කර තිබෙන බව තවදුරටත් පවසනු ලබයි. කෙසේ වුවද අනුරාධපුරයෙහි රාජ්‍ය විචාල සද්ධාතිස්‌ස, වළගම්බා, බුද්ධදාස, සිරිසඟබෝ යන රජවරුන් මෙම ස්‌ථානය සඳහා අනුග්‍රහය දක්‌වන ලද බව සඳහන්ය. එමෙන්ම පොළොන්නරුව යුගයෙහි රාජ්‍ය පාලනය ගෙන ගිය නිශ්ශංකමල්ල රජු, දඹදෙණි සමයේ රාජ්‍ය විචාළ 1 වන බුවනෙකබාහු, කෝට්‌ටේ රජකම් කළ VI වන පරාක්‍රමබාහු රජුද අනුග්‍රහය දක්‌වන ලද බව ජනප්‍රවාදයේ සඳහන්ය. තවද නිශ්ශංකමල්ල රජතුමා මෙම ආරාමයෙහි වැඩ සිටි භික්‌ෂුන් වහන්සේලාට මහා දානයක්‌ පිරිනමා සතුටට පත්වූ බව සෙල් ලිපියක දක්‌වා ඇති බව ඉතිහාසඥ අදහසයි. එම සෙල් ලිපිය අනුරාධපුර කෞතුකාගාරයෙහි තැන්පත් කරන ලද බවත්, හෝර්කාට්‌ මහතා එහි මූලිකත්වය ගෙන ක්‍රියා කරන ලද බවත් සඳහන් කරුණකි.අරන්කැලේ ආරාම සංකීර්ණය අතීතයේ දී "අරම් වෙහෙර, දූම පබ්බත වෙහෙර" යනාදී නාමයන්ගෙන් ව්‍යවහාර කරන ලදී. අරන්කැලේ යන්න ප්‍රභවය වූයේ කෙසේද යන්න විමසා බැලීමද උචිතය. ඒ අනුව, අරන් යනු රහත්, අරහත් යන අර්ථයද, කැලේ යන්න වනය බවත් දක්‌වනු ලබයි. එම අර්ථයෙන් රහතන් වහන්සේලා වාසය කළ කැලය "අරන්කැලේ" යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත. 1922 වර්ෂයේ දී පුරාවිද්‍යා සංරක්‌ෂණ ප්‍රදේශයක්‌ වශයෙන් මෙම ස්‌ථානය නම් කරන ලදී, වසර හතළිහක පමණ කාලයකට පසුව මෙම ස්‌ථානය වර්තමාන ස්‌වරූපයට පත්කරලීමට හැකියාව ලද බව පැවසේ. මෙම ආරාම සංකීර්ණයට ඇතුළත් අංග අතර බෝධිඝරය, පධානඝරය, සීමාමාලකය, චංකමනාගාරය, ද්විත්ව ගොඩනැඟිල්ල, සමුඛලෙන, පොකුණ මෙන්ම පියගැට සහිත පෙත්මඟ යනාදිය වැදගත්ය.මෙම ආරාම සංකීර්ණයෙහි දක්‌නට ලැබෙන ගොඩනැඟිලි ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකකි. එනම්, 1. පොදු ගොඩනැඟිලි2. පෞද්ගලික ගොඩනැඟිලි වශයෙනි.පොදු ගොඩනැඟිලි පිළිබඳව විමසා බැලීමේදී මෙහි දක්‌නට ලැබෙන ලක්‌ෂණය වනුයේ එකිනෙකට සම්බන්ධ වන ආකාරයෙන් මේවා ඉදිකර තිබීමයි. චංකමනාගාරය, සීමා මාලකය, සමුඛලෙන, ජන්තාඝරය, පධානඝරය යනාදී අංගයන් එකම ස්‌ථානයකට සමීපවන ආකාරයෙන් ඉදිකර තිබීම විශේෂත්වයකි. 1890 වර්ෂයේ දී H.C.P. බෙල් මහතා සහ හෝර්කාට්‌ යන දෙදෙනා විසින් මෙම අංගයන් තහවුරු කර ගැනීමට සමත් වූහ.එසේම අරන්කැලේ ආරාම සංකීර්ණයෙහි පවතින්නා වූ අංගයන් පිළිබඳව කෙටියෙන් වුවද විමසා බැලීම සුදුසුය. මෙහි පිහිටා තිබෙන වැදගත් අංගයක්‌ ලෙසින් උණු පැන්හල පෙන්වා දිය හැකිය. මෙවැනි අංගයන් ඉතා දුර්ලභය. දැනට සොයාගෙන තිබෙන උණු පැන්හල් අතර මහා විහාරය, ෙ-තවනාරාමය, මිහින්තලය සහ රිටිගල යනාදී ස්‌ථානයන් දැක්‌විය හැකිය. භාවනානුයෝගී භික්‌ෂුන් වහන්සේලා උණුදිය නෑම සාමාන්‍ය දෙයකි. පුරාවිද්‍යාඥයන් දක්‌වන අන්දමට උණුදිය නෑම සහ හුමාලය ඇඟ වැද්දවීම සඳහා මෙය යොදා ගනු ලබයි. ජන්තාඝරය යනුවෙන්ද හඳුන්වනු ලබන මෙහි දියුණු වෛද්‍ය ශාස්‌ත්‍රයක ලක්‌ෂණ පෙන්නුම් කරනු ලබයි. මෙම ස්‌ථානය අසල තිබී ඇඹරුම් ගල් දෙකක්‌ සොයාගෙන තිබේ. එයට අමතරව වළං කැබලි සහ අඟුරු ලැබීමද විශේෂත්වයකි. එම අඟුරු කිතුල් සහ තල්දැව දැවීමෙන් ශේෂ වූ ඒවා බව දක්‌වනු ලබයි. මෙම ස්‌ථානයෙහි ලිප් ගල් 22 ක්‌ පැවති බවට සලකුණු හමුවී තිබේ. මෙම ලිප් බෙහෙත් උණු කිරීම සඳහා භාවිතා කරන්නට ඇතැයි සැලකේ. එසේම මෙම උණු පැන්හල අසල ගල් තලාවෙහි කෙටි සෙල් ලිපි පාඨ දෙකක්‌ද හමුවීම විශේෂිත කරුණකි.මෙම ආරාම සංකීර්ණයෙහි දක්‌නට ලැබෙන තවත් සුවිශේෂී මෙන්ම වටිනා ගොඩනැඟිල්ල වශයෙන් චංකමනාගාරය පෙන්වාදිය හැකියි. මෙහි වහලක්‌ තිබෙන්නට ඇතැයි සැලකේ. පුරාවිද්‍යාඥයන් දක්‌වන අන්දමට ලංකාවේ වහලක්‌ සහිතව පැවති එකම චංකමනාගාරය මෙය වශයෙන් සලකනු ලබයි. වැසිකිළිය, කැසිකිළිය සහ දෝණිය එකට සම්බන්ධ කර ඉදිකර තිබීම වැදගත් වන අතර සෞඛ්‍යාරක්‌ෂිත ක්‍රම ගැන අවධානය යොමුකර තිබේ. මෙහි කැසිකිළි ගල විශේෂත්වයකි. එපමණක්‌ද නොව වැසිකිළිය සහ කැසිකිළිය සඳහා එකම වළක්‌ යොදාගෙන තිබීම ද වැදගත් කරුණකි.චංකමනාගාරයෙහි දක්‌නට ලැබෙන දෝණිය භික්‌ෂුන් වහන්ස්‌ලා ශරීරය පිරිසිදු කරගැනීම සඳහා භාවිතයට ගන්නා ලද බව සඳහන්ය. එමෙන්ම පැරැණි ලංකාවේ අංගසම්පූර්ණ චංකමනාගාරය වශයෙන් මෙය සැලකිය හැකි බව පුරාවිද්‍යාඥ අදහසයි.

Page 2 


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කුඹුක්වැව අරන්කැලේ මලියදේව අරහත්ත සේනාසනයෙහි සිදු කළ කැණීම් වලින් හමුවූ සක්මන් මළුව අතීතයේ පැවතුණු ආකාරයට සකස් කර මුළුමනින්ම අවසන් කොට ඇත.
සක්මන් මළුව දිස්වන අයුරු
වනවාසී භික්ෂු ආරාමයක් අසලින් සක්මන් මළුව ආරම්භ වන තැන
අඩි 1800 ක් පමණ දිගැති මෙය ශ්‍රී ලංකාවේ පැරැණි ආරණ්‍ය සේනාසනයකින් මෙතෙක් හමුවී ඇති දිගම සක්මන් මළුව බව එම සේනාසනාධිපති ශ්‍රී ලංකා ස්වේජින් නිකායෙහි ප්‍රධාන සංඝනායක කම්මට්ටනාචාර්ය හා කර්මාචාර්ය කිරිපේද්දේ පියදස්සී හිමියෝ පවසති. අනුරපුර යුගයේදී ඉදිකොට ඇති මෙම සක්මන් මළුව ‘චංකමනාගාරය’ හා ‘පෙත්මග‘ යන නම් වලින්ද හැඳින්වේ.
හතරැස් කළුගල් වලින් ගමන් මාර්ගයක් ලෙස සකස් කොට මැදට සුදුවැලි අතුරා මනා තාක්ෂණයකින් යුතුව නිම කොට ඇති මෙය අතීතයේ මෙහි වැඩ සිටි රහතන් වහන්සේ සහ භික්ෂූන් වහන්සේ සක්මන් භාවනාවේ යෙදීම සඳහා භාවිතා කොට ඇති බව පුරා විද්‍යාඥයන්ගේ අදහස වී ඇත.
අරන්කැලේ සේනාසනයෙහි සම්මුඛ ලෙන අසලින් ආරම්භ වන එම සක්මන් මළුව අවසන් වන්නේ ලක්දිව අවසන් රහතන් වහන්සේ වශයෙන් සැලකෙන මලියදේව මහ රහතන් වහන්සේ වැඩසිටි ගල්ලෙන අසලිනි. මුළු සේනාසන භූමියටම අලංකාරයක් ගෙන දෙන එම සක්මන් මළුව හෙළ කලා ශිල්පීන්ගේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්ව තිබේ.
අක්කර 65 ක් පමණ විශාලැති අරන්කැලේ සේනාසන භූමියෙහි දැනට වසර 40ක පමණ කාලක සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් කටයුතු කරගෙන යන අතර මේ වන විට ජන්ථාඝරයක්, සම්මුඛ ලෙනක්, පඨානඝරයක්, යුගලාරාමයක්, සීමා මාලකයක්, පියගැට පෙළ කිපයක්, විශාල පොකුණක් ඇතුළු පැරණි ගොඩනැගිලි රැසක නටබුන් හඳුනාගෙන ඇත.